Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකුගේ ජීවිතයක් උදුරා ගනී




පොලීසිය අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී එහි උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (13) මෙම මරණය සිදුව ඇත්තේ පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින්. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු සමග පොරබැද ඔහු සතු ගිනි අවියද පැහැර ගෙන යාමටද තැත් කර ඇති බවයි. අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේදී වාර්තා පළ වන 48 වන අවස්ථාවද මෙයයි.

මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවන්නත් මත්තෙන් ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ වී ඇති බවයි. මෙම විරෝධතා පැවැත්වෙන්නේ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයෙන් පසු ආරම්භ වූ විරෝධතා උණුසුම් මුහුණුවරක් ගනිමින් තවදුරටත් අමෙරිකාවේ මෙන්ම ලොවපුරා රටවල් රැසක ද පැවැත්වෙමින් තිබියදී වීම විශේෂත්වයක්.