Friday, April 19, 2024

General line - 0115112241

ලක්ෂ 05ක ජනතාවක් සමග චීනයේ තවත් ප්‍රාන්තයක් "ලොක් ඩවුන්" කරයි




චීනයේ මධ්‍යම හෙබෙයි පළාතේ පිහිටි Anxin ප්‍රාන්තයේ සම්පුර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ හෙබෙයි පළාත තුළද නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වීමත් සමගයි. Anxin  ප්‍රාන්තය පිහිටා ඇත්තේ බීජිං අගනුවරට සැතපුම් 90ක් දුරින්ය.

බලධාරින් සඳහන් කරන්නේ මෙලෙස වසා දැමු Anxin ප්‍රාන්තයේ ලක්ෂ 05 ක පමණ ජනතාවක් වෙසෙන බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය මිලට ගැනීමට නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ඒමට අවසරය හිමිව ඇති බවයි එම බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චීනයේ බීජිං අගනුවර ආශ්‍රිතව මිට සති 03 ක පමණ කාලයක සිට නව කොරෝනා වෛරසයේ අලුත්ම රෝගීන් පොකුරක් වර්ධනය වීම ආරම්භ වූ අතර මේ වන රෝගීන් 311 දෙනෙක් වාර්තා වී ඇත. චීනයේ බීජිං අගනුවර ආශ්‍රිතව නවතම කොරෝනා රෝගී පොකුර ව්‍යාප්තවීම ආරම්භ වුයේ එහි පිහිටි Xinfadi තොග වෙළද සංකීර්ණය හරහා බවයි විශේෂඥයින් පසුව කරුණු අනාවරණය කර ගනු ලැබුවේ.

පසුව මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ Xinfadi තොග වෙළද සංකීර්ණයට මිරිදිය මාළු ලබාදීම සිදුකරනු ලබන්නේ Anxin ප්‍රාන්තයෙන් බවයි.

Anxin ප්‍රාන්තයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එයින් 11 දෙනෙක් Xinfadi තොග වෙළද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් බවයි චීන බලධාරීන් සඳහන් කරන්නේ.