Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. 

ඒ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න කළ ඉල්ලීමකට අනුව පොලිස් කොමිසම මෙම අනුමැතිය ලබාදී තිබුණා. 

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරී ආවරණය සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ අපොන්සු පත් කිරීමටයි පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත්තේ. 

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වීම හමුවේ ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිව්දෙනා ඊයේ වැඩතහනමට ලක් කෙරුණා. 

එවන් පසුබිමක් තුළයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත ස්ථාන මාරු කර ඇත්තේ. 

මෙලෙස වැඩතහනම් කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා එම නිලධාරීන් උපයා ගෙන තිබූ රුපියල් ලක්ෂ 300 කට අධික මුදලක් ද ඉකුත් දා සොයා ගැනුණා. 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට අයත් මිනුවන්ගොඩ පිහිටි නිවසේ තිබී රුපියල් නව ලක්ෂ 40,000 ක මුදලක් ද ඉකුත් දා සොයා ගැනුණේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බව පැවසෙන මෝටර් රථයක් සහ උපකරණ කිහිපයක් ද සමගයි.