Friday, March 29, 2024

General line - 0115112241

වරායේ දොඹකර ගැටළුවට හේතුව සවි කරන්න තැනක් නැති වීමයි




නෞකාවක් මගින් කොළඹ වරායට රැගෙනවිත් ඇති ග‍්‍රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නොවන බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. මෙම දොඹකර 03 එම පර්යන්තයේ සවි කිරීම ප‍්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ඊයේ (30) වෘත්තීය කි‍්‍රයාමාර්ගයක ද නිරත වුණා.

මෙම දොඹකර 03 වෙනත් පර්යන්තයක සවි කිරීමට රැගෙන විත් තිබුණ ද, අදාළ පර්යන්තය මෙතෙක් ඉදිකර නොමැති බවයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

මෙම දොඹකර සවිකිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් ඒවා රැගෙන ආ නෞකාවට දිනකට ලක්ෂ 90ක ප‍්‍රමාද ගාස්තුවක් ගෙවීමට වරාය අධිකාරයට සිදුව ඇති බව වරාය වෘත්තීය සමිති ඊයේ ප‍්‍රකාශ කළා. ඊට ද වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී පෙන්වා දුන්නේ, යම් ප්‍රමාදයක් සිදු වුවහොත් එවැනි ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙන බවත් මේ දක්වා එවැනි ගැටලුවක් ඇති වී නොමැති බවයි සඳහන් කළේ. ඇති කර ගත් ගිවිසුම මත අදාළ පාර්ශ්වය සමග තවත් දින ගණනක් ඉදිරියට ඇති බවයි පෙන්වා දුන්නේ. 

මේ අතර බලපත‍්‍ර නොමැතිව ආනයනය කරන ලද කහ අඩංගු බහාලූම් 56 ක් කොළඹ වරායේ රඳවා තිබෙන බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. අපේ‍්‍රල් සහ මැයි යන මාසවල කහ අඩංගු මෙම බහාලූම් මෙරටට ගෙන්වා ඇති බවයි රේගු ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 

කහ ආනයනය තහනම් කිරීමත් සමග මෙරට වෙළඳපලේ කහකුඩු මිල සීග‍්‍රයෙන් ඉහළ ගියා. එබැවින් වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම කහ අඩංගු බහාලූම් තොගය මෙරටට ගෙන්වා ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.  

මේ වනවිටද ප‍්‍රදේශ රැසක වෙළදපලේ කහ කුඩු හිගයක් දක්නට ලැබෙනවා.