Thursday, April 25, 2024

General line - 0115112241

උපුල් තරංගගෙන් අද ප්‍රකාශයක් ගනී




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ඒ අනුව උපුල් තරංගට අද පස්වරු 02.00 ට එම විශේෂ ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා නෙත් ස්පෝට්ස්මන් වෙත කියා සිටියේ. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළා. 

මේ අතර මෙම තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් එවක කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය ඊයේ පැය 06 කට ආසන්න කාලයක් සටහන් කර ගත්තා. ඊයේ පස්වරු 02.00 ට එම ඒකකය වෙත පැමිණි අරවින් ද සිල්වා ඉන් පිටව ගියේ රාතී‍්‍ර 08.30 ට පමණයි. 

සිය අනුමැතියකින් තොරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කී‍්‍රඩකයින් සිව්දෙනෙකු කැඳවූ බව හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් එවක කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ඊයේ දිනයේ ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.  

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ මෙම ප‍්‍රකාශය ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මෙන්ම ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේද දැඩි අවධානයක් යොමුවූ මෙම ප‍්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක්ද ආරම්භ වූයේ ඉන් පසුවයි.