Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකඩ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය හසු වෙයි




වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑතකාලයේදී සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම බන්ධනාගාරයේ YO වාට්ටුවේ රදවා සිටි සිරකරුවෙකු සතුව තිබී බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට වරදකරු වී සිරදඩුවම් විදින සැකකරුවෙක්. 

වාට්ටුවෙන් පිටත සිටින අවස්ථාවකදී ඔහු පිළිබද සැක සිතී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියාමකවරයෙකු විසින් සිරකරු පරීක්‍ෂා කර තිබෙනවා. එහිදී ඔහු සිය ශරීරයේ මෙම හෙරොයින් ප‍්‍රමාණය සගවා ගෙන සිටි බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. 

බන්ධනාගාර ආශි‍්‍රතව සිදුවන විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට මෙහෙයුමක්ද ආරම්භ කර අවසන්. ඒ අනුව එක් එක් බන්ධනාගාරවල ඇති තහනම් භාණ්ඩ සහ ද්‍රව්‍ය වහාම ඉවත් කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී ඇත්තේ. එම කටයුතු සති දෙකක් තුළ අවසන් විය යුතු බවටද අවධාරණය කර තිබෙනවා. 

ඉන්පසු බන්ධනාගාර මූලස්ථානයේ කි‍්‍රයාත්මක බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර හදිසි පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි. එවිට යම් බන්ධනාගාරයකින් තහනම් භාණ්ඩ බුද්ධි අංශ නිලධාරීන් සොයාගත හොත් එහි වගකීම බන්ධනාගර ඉහළ නිලධාරීන් භාරගත යුතු බවටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ.