Thursday, March 28, 2024

General line - 0115112241

හෝමාගම ප්‍රදේශයෙන් සොයා ගත් පාතාල ආයුධ තොගයේ සුලමුල හෙළිවේ




හෝමාගම, පිටිපන උතුර ප‍්‍රදේශයේ සිල්වස්ටන් වත්ත, 4 වන පටුමගේ නිවසකින් තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් අද දිනයේද සොයාගෙන තිබෙනවා. 

ඒ, රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව හෝමාගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එම නිවසේ රහස් කුටියක සඟවා තිබියදී රිපිටර් වර්ගයේ ගිනිඅවියක්, එම සජීව උණ්ඩ 04 ක්, අත්බෝම්බ 7 ක්, වෙඩි නොවදින ඇ`දුම් 02 ක් සහ හදුනා නොගත් උණ්ඩ 04 ක් ද සොයාගෙන තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ.

පෙරේදා දිනයේද හෝමාගම පිටිපන නගරයේ පෞද්ගලික සමාගමකට අයත් තට්ටු 5 ක ගොඩනැගිල්ලක පහත මාලයේ ව්‍යාපාරික භාණ්ඩ ගබඩාවක තිබී ගිනි අවි රැසක් සොයා ගැණුනා. 

ඒ අතරට ටී 56 ගිනි 11 ක් සහ ටී 81 ගිනි අවියක් ද අයත්. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. 

අද දිනයේ සොයාගත් ගිනි අවි සමග අත්අඩංගුවට ගත් කාන්තාව මීට පෙර අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිද බවයි පොලීසිය සදහන් කළේ. 

මෙලෙස සොයාගත් අවි ආයුධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නමැත්තාට අයත් බවටයි අනාවරණ වී ඇත්තේ. 
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු බව කියන පොට්ට කපිල නමැත්තායි. ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා.

මේ අතර පාතාල කල්ලි සාමාජික සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන ගගන නමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මහරගම, ඇරැුව්වල, පීටර් සමරතුංග මාවතේදීයි.