Friday, March 29, 2024

General line - 0115112241

ග‍්‍රැන්ටි දොඹකර ගැටලුව තවදුරටත්




සේවකයින් තිදෙනෙකු කොළඹ වරාය පරිශ‍්‍රයේ, ග‍්‍රැන්ටි දොඹකරයකට නැඟ ඊයේ (01) දහවල් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් පැවැත්වෙනවා.

ඒ, මෙතෙක් තම ඉල්ලීම්වලට විසදුම් නොලැබීම හේතුවෙන්. ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් මෙරටට ගෙන්වා ඇති ග‍්‍රැන්ටි දොඹකර 3 ක් තවමත් කොළඹ වරායේ නැංගූරම්ලා ඇති නෞකාවක ඇති බවටත් ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි කරන ලෙසටත් බල කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළා. 

ඒ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. ඒ සමග මෙම සේවකයින් තිදෙනා අදාළ නෞකාවේ මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් කි‍්‍රයාත්මක කරමින් තිබෙනවා. 

අදාළ දොඹකර මෙරටට ගෙනවිත් ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 25.7 ක් වැය කරමින්. ඒවා දින 11 ක් තිස්සේ තවමත් ඇත්තේ රැගෙන ආ නෞකාව තුළයි. නෙත් නිවුස් කළ විමසීමකදී වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සදහන් කළේ දොඹකර සවි කළ යුතු පර්යන්තය පවා ඉදිකර නොමැති පසුබිමක ඉකුත් ආණ්ඩුව සමයේ මෙම දොඹකර මිලදී ගෙන ඇති බවයි. 

එහෙත් මේ වනවිට ගෙන්වා ඇති දොඹකර නැගෙනහිර පර්යන්තයේ හෝ සවිකර මෙහෙයුම් ආරම්භ කරන ලෙසටයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

වණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න කියා සිටියේ හැකි ඉක්මණින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ යුතුයි. වරාය අධිකාරියේ වටීනාම සම්පත පුද්ගලීකරණය කිරීමට ඉඩ දිය නොහැකි බවත් සඳහන් කළා.

ගැටළුව සම්බන්ධයේ බලධාරීන් ක්‍ෂණික තීරණයක් නොගතහොත් ආර්ථිකමය වශයෙන් බලපෑම් එල්ල විය හැකි බවටද මෙහිදී අනතුරු ඇගවීමක් සිදු කෙරුණා.

මේ වනවිට දොඹකර ගෙන්වා ඇති නෞකාවට විශාල වශයෙන් ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති පසුබිමක අදාළ දොඹකර නැගෙනහිර පර්යන්තයේ හෝ සවිකර මෙහෙයුම් ආරම්භ කිරීමට නොහැකි දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා.

කෙසේවෙතත් ඊට හරස් වී ඇත්තේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සිදු කිරීමට ඉකුත් යහපාලන ආණ්ඩුවේ අවසන් භාගයේ එළඹ ඇති සහයෝගිතා ගිවිසුමක් බවයි නෙත් නිවුස් කළ අනාවරණයේදී හෙළි වුණේ.

අදාළ ගිවිසුමෙන් සියයට 51 ක් ශී‍්‍ර ලංකාවට අයත් වන අතර ජපානයට සියයට 44 ක්ද ඉන්දියාවට සියයට 5 ක් ද හිමි වී තිබෙනවා.

අදාළ දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ජපානය එකගතාවය පළ කර ඇතත් ඉන්දියාව ඊට විරෝධය පළ කිරීම හේතුවෙනුයි එම දොඹකර ගෙන්වූ නෞකාව තුළම තවදුරටත් තබා ගැනීමට වරාය බලධාරීන්ට සිදුව ඇත්තේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ හෙට දවස වන විට ගැටලුව විසඳෙන තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බවයි.

මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ග හේතුවෙන් වරායේ කටයුතුවලට බාධා එල්ල වී ඇත් දැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එහිදී පෙන්වා දුන්නේ වරාය කටයුතු කිසිවක් අඩාල වී නැති බවයි. මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් ද වැඩ කටයුතු අඩාල කිරීමේ ක්‍රියාවක නිරත වී නැති බවත් සඳහන් කළා.

මේ වනවිට මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගිවිසුමක් නිසා මෙවැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි. .

මෙම ග‍්‍රැන්ටි දොඹකර ගොඩබෑමක් සිදු නොකිරීම හේතුවෙන් ඒවා රැගෙන ආ නෞකාවට ප‍්‍රමාද ගාස්තු නොගෙවීමට ඇති පසුබිම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් පැවසුවේ.