Tuesday, April 23, 2024

General line - 0115112241

අපරාධ කල්ලිවලට සම්බන්ධ තවත් කිහිපදෙනෙක් අවි ආයුධ සමග කොටු




මීගොඩ, නාවලමුල්ල ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක අවි ආයුධ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමග සිදුකළ වැටලීමකදීයි.

එහිදි මීගොඩ ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගයාන් උජිත නානායක්කාර නමැත්තා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදි එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ඊට අයත් උණ්ඩ 2 ක්, හිස්කොපු 01 සහ කඩු 02 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරු මීගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.   

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සීතාවක පොඞ්ඩාගේ සමීපතමයන් දෙදෙනෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීයි.

එක් සැකකරුවෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත ඇති බව අනාවරණ වී තිබෙනවා. ඔහු සන්තකයේ තිබී තියුුණු ආයුධයක් සහ ලියාපදිංචි නොකල යතුරු පැදියක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අනෙක් සැකකරුද අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ලියාපදිංචිය තහවුරු නොකල යතුරු පැදියක් සොයාගෙන තිබෙනවා. 

තවද, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුද්ගලයෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ප‍්‍රදේශයේ නීතිවිරෝධී මැණික් ගැරීම් සහ පතල් කැණීම් සිදුකරන අයෙකු බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු සතුව තිබී තියුණු ආයුධ දෙකක් සහ යුද හමුදා නිල ඇදුම් කට්ටලයක් සොයා ගැණුනා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.