Saturday, April 20, 2024

General line - 0115112241

පාතාලය මඩින පොලීසියේ විශේෂ මෙහෙයුම - පාතාලයේ ආයුධ තොගයක් හොමාගම නිවසකින් යළිත් අත්අඩංගුවට




හෝමාගම, කැන්දලන්ද, සාම මාවත ප‍්‍රදේශයේ නිවසකින්ද අද ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය රැුසක් සොයාගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

එයාර් රයිෆල් අවියක්, එම උණ්ඩ 600ක්, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, සහ ඞී.වී.ඞී. යන්ත‍්‍ර 3 ක් එහි තිබී සොයාගෙන තිබෙනවා. 

ඉකුත් 29 වනදා හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ව්‍යාපාරික ස්ථානයක් පරීක්‍ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් එහි තිබී ගිනි අවි 12 ක් සොයා ගැණුනා. 

එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේ වැඩිදුර පරීක්‍ෂණ සදහායි.

ඊයේ දිනයේ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සැකකරුගේ අනියම් බිරිද සිටි නිවසේ ස`ගවා තිබූ තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැණුනා. එම සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ රාත‍්‍රීයේ අතුරුගිරිය ප‍්‍රදේශයේ දී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ටී 56 ගිනි අවියක් ද සමගයි. 

ඉකුත් 29 වනදා හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලේ සඟවා තිබු ටී 56 ගිනි අවි 7 ක් අතුරුදන්ව තිබුණා. ඊයේ රාති‍්‍රයේ අතුරුගිරියේදී සොයාගෙන ඇත්තේ එම ටී 56 ගිනි අවියක් බවටයි පොලීසිය විශ්වාස කරන්නේ.

අද අළුයම හෝමාගම, කැන්දලන්ද ප‍්‍රදේශයේ නිවසින් තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැණුනේ මෙම ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38 ක් වන හබරකඩ ප‍්‍රදේශයේ සැකකරුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේයි. 

හෝමාගම පිටිපන ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් මෙන්ම නිවාස දෙකකින් සහ අතුරුගිරියෙන් හමු වූ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය කොස්ගොඩ තාරකට අයත් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර මීගොඩ, නාවලමුල්ල ප‍්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදි අවි ආයුධ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමග සිදුකළ වැටලීමකදීයි. 

එහිදි මීගොඩ ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගයාන් උජිත නානායක්කාර නමැත්තා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදි එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ඊට අයත් උණ්ඩ 2 ක්, හිස්කොපු 01 සහ කඩු 02 ක් පොලීසිය විසින් සොයා ගැණුනා.