Friday, April 26, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුනු බුද්ධි අංශ වාර්තා පිළිබඳව තවත් හෙළිදරව්වක්




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර ලැබී තිබූ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර නොතිබූ බව ජනාධිපති කොමිසමේදී අනාවරණ වී තිබෙනවා. 

ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්‍ෂි ලබාදුන් අවස්ථාවේදීයි. ඔහු පවසා ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන්, ප‍්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවයි.

ලැබී තිබූ බුද්ධි තොරතුරට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා නිසි ඉදිරි පියවර නොගැනීම සහ එම තොරතුර පිළිබඳ හමුදා බුද්ධි ප‍්‍රධානීන් දැනුවත් නොකිරීම ප‍්‍රහාරය වළක්වා නොගැනීමට හේතු වී ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා විසින් තමන්ට ලද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුර පිළිබඳ යුද හමුදා බුද්ධි අංශ දැනුවත් කිරීමට පියවර ගත්තේ නම් ත‍්‍රස්තවාදීන් හඹාගෙන ගොස් අත්අඩංගුවට ගෙන මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට පැහැදිලි ඉඩකඩක් පැවති බවද ජනාධිපති කොමිසමේදී හෙළි වී තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියා වැඩිදුරටත් සාක්‍ෂි ලබාදෙමින් පවසා ඇත්තේ මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුර පිළිබඳ හමුදා ප‍්‍රධානීන් දැනුවත් නොකිරීම ප‍්‍රබල වගකීම් පැහැර හැරීමක් බවයි.