Wednesday, April 24, 2024

General line - 0115112241

වට්ස්ඇප් ඔස්සේ ඩලස්ගේ වෙස් ගත් අයෙකුට වැඩ වරදී




අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නම භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් හරහා රැකියා ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ලද තොරතුරක් අනුව බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය විසින් මාතර නගරයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. එම සැකකරු මාතර වල්ගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පෞද්ගලික ආයතනයක අලෙවි අධ්‍යක්ෂ තනතුරක රැකියාවක් ලබා ගැනීම සදහා සැකකරු විසින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලෙස පෙනී සිට, අදාළ ආයතනයට වට්ස්ඇප් ඇමතුම් ලබා දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු විසින් තවත් ආයතනයක ඉහළ තනතුරක රැකියාවක් ලබා දෙන ලෙස පවසමින් එම ආයතනයේ සභාපතිවරයාට ද වට්ස්ඇප් හරහා ඇමතුම් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම, අමාත්‍යවරයාගේ ඥාතියෙකු යැයි පවසමින් ද සැකකරු අදාළ ආයතනයට ඇමතුම් ලබා දී තිබෙනවා. සැකකරු විසින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නම සහ ජායාරූපය ඇතුළත් කර එක් ව්‍යාජ වට්ස්ඇප් ගිණුමක් සකසා ඇති බව ද පොලිසිය පැවසුවා.