Saturday, May 11, 2024

General line - 0115112241

සියලුම සරසවි අද සිට විවෘත කෙරේ : පිළිපැදිය යුතු අනිවාර්ය කොන්දේසි 11ක් ප්‍රකාශයට පත් කෙරේ




කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කර සිටිනවා.

ඒ අනුව පසුගිය ජූනි 15 සහ 22 යන දිනයන්හි වෛද්‍ය සිසුන් සහ අවසන් වසර සිසුන්ට විශ්ව විද්‍යාල පද්ධතිය විවෘත වූ අතර අද (07) සිට දෙවන සහ තෙවන වසරවල සිසුන්ට විශ්ව විද්‍යාල පද්ධතිය විවෘත කෙරේ. ඒ අනුව එම කොන්දේසි වලට යටත්ව ඒ ඒ විශ්ව විද්‍යාලයන්ගේ පීඨාධිපතිවරුන්ට සිසුන් ගෙන්වා ගත හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව විශ්ව විද්‍යාල වල අධ්‍යාපන කටයුතු පහත කොන්දේසි 11 යටතේ ක්‍රියාත්මක විය යුතුය. එනම්,

1 එක් වරකට විශ්ව විද්‍යාලයකට කැඳවිය හැක්කේ වසර 02ක සිසුන් පමණි . දෙවන වසර හා තෙවන වසර නම් වඩාත් යෝග්‍ය වේ.

2 නේවාසිකාගාරවල සිටින ළමුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ.නේවාසිකාගාරයේදී,දේශන ශාලා තුළ , ප්‍රායෝගික පන්ති, පුස්තකාල,දේශණාගාර තුළ මීටරයක පරතරය පවත්වා ගැනීම අනිවාර්ය වේ.

3 විශ්වවිද්‍යාල නැවත ආරම්භයේ දී දේශන හා ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන්කර ඇති සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.

4. විභාග පැවැත් වීමට පෙර පවත්වන ඕනෑම අධ්‍යයන කටයුත්තක් කාලය අඩු කරමින් උපරිමය සති 4කට වඩා වැඩි නොවිය යුතුය.

5 අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ආරම්භ කර හැකි අතර, ඒ සඳහා අදාළ පීඨවලින් උපදෙස් ලබා දිය හැකිය.දන්ත වෛද්‍ය හා ආයුර්වේද අවසන් වසරේ සිසුන්ගේ සායනික පුහුණුව ද ආරම්භ කළ හැකිය.

6 අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතුයි.

7 විශ්වවිද්‍යාල භූමිය තුළ රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත සිසුන්ට රැඳී සිටිය නොහැක.

8 ක්‍රීඩා , සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබේ.

9 සියලූම උපකුලපතිවරුන්ට තමන්ගේ නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා , වරකට විශ්වවිද්‍යාලයට ගෙන්විය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනයකින් පසුව අධ්‍යයන කටයුතු ආරම්භ කළ යුතුය.

10 උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මාලාව ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වලංගු වේ.

11 විශ්වවිද්‍යාලය සුමටම පවත්වා ගැනීම සඳහා, අවශ්‍ය කරන අධ්‍යයන , අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කිරීමට උපකුලපතිවරුන්ට බලය පවරා තිබේ.