Friday, March 29, 2024

General line - 0115112241

සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් නව පාර්ලිමේන්තුව රැස් වන්නේ මෙහෙමයි




එළඹෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට යොමු කරවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කර උපදෙස් ලබාදීම සඳහායි. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යය මණ්ඩල ප‍්‍රධානී නීල් ඉද්දවෙල ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ සභාගර්භය, කාරක සභා ශාලා, ආපනා ශාලා ඇතුළු අනෙකුත් ස්ථාන නිරීක්ෂණයෙන් පසු අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබාදීමට අපේකෂිතයි. 

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ. 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී නව කථානායකවරයා තෝරාපත් කර ගැනීම සහ නව මන්තී‍්‍රවරුන් දිවුරුම්දීම සඳහා සියලූම මන්තී‍්‍රවරුන් සභා ගර්භය තුළ සිටීම අතවශ්‍ය වනවා. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මන්තී‍්‍රවරුන්ට තීරණය කළ හැකියි. 

එබැවින් පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය ද සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බැවින් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යවශ්‍ය බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ.

පුද්ගල දුරස්ථභාවය, දෑත් පවිත‍්‍ර කිරීම, ශරීර උෂ්ණත්වය මැන බැලීම ඇතුළු සියලූ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ මේවනවිටත් සියලූ කටයුතු සිදු කෙරෙනවා.  පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල දැනුවත් කිරීම ඇතුළු රැස්වීම් සියල්ලක්ම ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

කෙසේවෙතත්, මේවනවිට ශ‍්‍රී ලංකාව තුළ කොඩිව් වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කෙරෙමින් තිබෙනවා. එහෙත්, විදේශ රටවල සිය මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට පැමිණ ව්‍යාප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.