Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට යළිත් තහනම්

732Views


 



වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා අමුත්තන් වෙනුවෙන් ලබාදී තිබූ අවසරය යලි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ, එම බන්ධනාගාරයේ රඳවා සිටි රැුඳවියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරුවීමත් සමගයි. 

ඒ අනුව මෙම රැඳවියා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ සිටි රැුඳවියන් පිරිසක් සහ ඉකුත් ජුනි 26 වෙනිදා සිට එහි සේවය කළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 300 ක පිරිසක් මෙන්ම සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 31 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. 

කෙසේවෙතත් අදාළ රැඳවියාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

කෙසේවෙතත්, අදාළ රැඳවියා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ අයි වන් වාට්ටුවේ සිටින රැඳවියන් 174 දෙනෙකු පමණ රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුරට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. 

මෙලෙස නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු ප‍්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුටයි. 

නඩු කටයුත්තක් සඳහා ඔහු ඉකුත් 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබුණා. එලෙස රැගෙන ආ එම රැුඳවියා නඩු කටයුත්තකට සහභාගී කරවීමට පෙර PCR පරීක්ෂණයක් සිදුකොට ඇති අතර එහිදී ඔහුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි බන්ධනාගාර කොමසාරිස් බුද්ධි හා මෙහෙයුම් තුසිත උඩුවර පැවසුවේ.  

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ මෙම රැඳවියා සමග කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිට පසුව කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ තවත් රැඳවියන් දෙදෙනෙකු සහ ඔවුන් සමග රඳවා සිටි තවත් රැුඳවියන් සිව්දෙනෙකු ද PCR පරීක්ෂණ යොමුකර තිබෙනවා. ඒ, නාගොඩ රෝහල වෙතයි. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි තවත් කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1955 ක්. මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2078 ක් වුවත්, ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 112 ක් පමණයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here