Tuesday, March 19, 2024

General line - 0115112241

මෙරට දෙවන "දිය යට කෞතුගාරය" ත්‍රිකුණාමලයේදී විවෘත කෙරේ  (VIDEO / PHOTOS)




නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10) දින ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබුවා. 

විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ.

මෙම දියයට කෞතුකාගාරය තුල ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් අනුග්‍රහය ලබා දෙන ලදි. 

එසේම කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත. මෙම දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරට වන්නට අඩි 150ක දිගකින් සහ අඩි 85ක පළලකින් පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.

 මෙ‍ම ව්‍යාපෘතිය මගින් කොරල් පර නැවත වර්ධනය කර ගැනීම මෙන්ම මත්‍ස්‍ය සම්පත වර්ධණය කර ගැනීම අපේක්‍ෂා කරණ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කලේ.

මේ වන විටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනණය ආරම්භ වී ඇති අතර ඉතා නුදුරු කාලයකදී සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමි වනු ඇත. ‍කෙසේ වෙතත් මෙම ව්‍යපෘතිය ආරම්භ කිරීමෙන් පසු එහි මූලික අවධිය තුල මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සදහා ධීවර ප්‍රජාව කටයුතු නොකල යුතු අතර, ආශ්‍රිත ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනණය වර්ධනය වූ පසු එහි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් සිදු කරන ලද අතර, ඔහු විසින් දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම සිදු කරන ලදි.