Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනාවට වඩා භයානක රෝගයක් කසකස්ථානයෙන් වාර්තා වෙයි : මියගිය අයගේ සිරුරූ රැගෙන යන්න ඥාතින් පෝලිමේ එයි (VIDEO)




නව කොරෝනා වෛරසයට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්ත්වයක් කසකස්ථානයෙන් වාර්තා වන බව එරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

කසකස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එරට ගතවූ මාස 06 ක කාලය තුලදී නියුමෝනියාව හේතුවෙන් මරණ 1,772ක් වාර්තා වී ඇති බවයි. ඉන් 628ක් ජුනි මාසයේදී වාර්තා වී ඇති බවත් රෝගයට ගොදුරුවූ ඇතැම් චීන ජාතිකයින්ද මරණයට පත්ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

චීනයේ එක් දේශ සීමාවක් කසකස්ථානයට සීමාව තිබෙන බැවින් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම තානාපති කාර්යාලය දැනුම් දී ඇත්තේ.

මේ අතර දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානමක් හේතුවෙන් කසකස්ථානය යලි අගුලු දැමීමට පියවර ගෙන ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර කසකස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ පැතිර යමින් පවතින හඳුනා නොගත් නව නියුමෝනියා රෝගයට ගොදුරු වූ රෝගීන් 32,000ක් සහ මරණ 451ක් වාර්තා වී ඇති බවයි. එම හඳුනා නොගත් රෝගයට සාපේක්ෂව කසකස්ථානයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 53,021 ක් සහ මරණ 296ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා වෛරස පරීක්ෂණය සිදුකලද එය තහවුරු නොවූ නියුමෝනියා රෝගීන් 28,000ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Azhar Giniyat සඳහන් කර සිටින්නේ.

රෝගී තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් භාර ගැනීමට කසකස්ථානයේ පිහිටි විශාලතම නගරය වන Almaty හි පිහිටි මෘත ශරීරාගාරය ඉදිරිපිට ඔවුන්ගේ ඥාතින් රැස්ව සිටින අයුරු දැක්වෙන ජයාරූප සහ වීඩියෝවක් ද මේ වන විට නිකුත්ව තිබෙනවා.

ව්‍යාප්ත වෙමින් පවතින නව නියුමෝනියා තත්ත්වය හඳුනා ගැනීමට එරට විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ ආරම්භ කොට ඇත.

නමුත් ඇතැම් විද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙලෙස වාර්තා වන හඳුනා නොගත් නියුමෝනියා රෝගය නව කොරෝනා වෛරසයට සම්බන්ධ බවට සැක කෙරෙන බවයි.