Saturday, April 20, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් තවත් කොවිඩ් රෝගියෙක් වාර්තා වෙයි 




කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (10) තහවුරු වී තිබෙනවා. එම රැඳවියා ගේ PCR පරීක්ෂණ පසුගිය 08 වෙනිදා සිදුකොට ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අද දිනයේදී ඔහුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. 

වැලිකඩ බන්ධනාගාරයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා සිටි අයෙකු බව වාර්තා වනවා.

මෙම සිරකරුවා කන්දකාඩු සිට රැගෙනවිත් තිබූ සිරකරුවන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි අයෙකු බවත් ඔහු පසුව බන්ධනාගාර රෝහලේ වාට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරී සිදුකොට ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වන විට ඔහුව IDH රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.