Thursday, April 18, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිත වැලිකඩ රැඳවියා හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය පිළිබඳව විශේෂ අවදානයක්




වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහය සේවා සදහා යොදවා සිටි රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා. 

ඉකුත් 8 වනදා එම රෝහලේ සිටි රැදවියන් ඇතුළු හත් දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම පරීක්‍ෂණ වාර්තා අනුව කොරෝනා වෛරසය මෙම රැදවියාට ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඊයේ රාතී‍්‍රයේ ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ගිලන් රථයකින් පිටත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

මෙම රැදවියා හෙරොයින් නඩුවකට අදාළ සිරදඩුවමක් සදහා වැලිකඩ බන්ධනාගාරයේ අයි වාට්ටුවේ ඉකුත් 17 වනදා සිට රදවා තබා තිබෙනවා. මීට පෙර කොරෝනා ආසාදිත වු රැදවියා සමග එම වාට්ටුවේ මෙම රැදවියාද රදවා තැබුණා. 

ඉකුත් 30 වනදා සිට මෙම රැදවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහය කටයුතු සදහා යොදවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහිදී ඔහුගේ ප‍්‍රධාන කාර්යය වී ඇත්තේ නේවාසික රෝගීන්ගේ හිස කෙස් කැපීමයි. 

මෙම කාලය තුළ ඔහු රැදවියන් කිහිප දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේද හිස කෙස් සහ රැවුල කපා ඇති බවට වාර්තා වනවා.

මේ අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රාජකාරී සිදුකරන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර ආරංචි පැවසුවා. 

ඔවුන් එහි වෙනම නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනා අද දිනයේ පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමටද නියමිතයි. මෙම නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙකු ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයේ සිට පුනානි දක්වා රැුගෙන ගිය රැදවියන් සදහා ආරක්‍ෂවට ගිය නිලධාරියෙක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.