Saturday, April 20, 2024

General line - 0115112241

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස් නැවතත් ගෙන්වීමට යයි




කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටව ගිය රැදවියන් ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ ඔවුන් විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි. 
එලෙස පිටව ගිය රැුදවියන් ද නැවත ගෙන්වා ගැනීම පිළිබද කිසිදු පුද්ගලයෙකු අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ. 

කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය රැදවියන් ආපසු කැදවනු ලබන්නේ කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවක් කර ගනිමින් නොවන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටව ගිය රැදවියන් මෙන්ම එම මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ද සිය ගම්බිම් බලා පිටත්ව ගොස් තිබුණා. නිලධාරීන් පිරිසක් එලෙස පිටත්ව ගොස් තිබුණේ නිවාඩු ලැබීමෙන් පසුවයි. 

ඔවුන්ගෙන් කොටසක් ඊයේ වනවිට යළි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබූ අතර අද වනවිට සියළු දෙනා පැමිණෙනු ඇති බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ. 

එලෙස රැගෙන එන පිරිස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිවාඩු ගිය පිරිස්වල පවුලේ සාමාජිකයන්ද නිවෙස්වල ස්වයං නිරෝධායනට ලක් කිරීමටයි පියවර ගැණුනේ. 

එමෙන්ම එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පිරිස බැලීමට පැමිණි 116 දෙනෙකුද හදුනාගෙන ඔවුන්ද ස්වයං නිරෝධානයට ලක් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත සදහන් කළා. 

ඇය කියාසිටියේ අදාළ කාන්තාවගේ මවගේ පී සී ආර් පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ලැබීමට ඇති බවයි.