Friday, March 29, 2024

General line - 0115112241

නිවාඩු ඇවිත් ගිය කන්දකාඩු උපදේශකවරයාට කොරෝනා : කුණ්ඩසාලේ 40ක් නිරෝධායනයට




මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න ප්‍රකාශ කර සිටිනවා.

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් තිබෙනවා. එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ.