Saturday, August 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

කන්දකාඩු කොරෝනා ආසාධිත පොකුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව ස්වයං නිරෝධායනයට

7866Views


 



මාරවිල, රාජාංගණය, වැලිකන්ද, ලංකාපුර සහ හබරාදුවෙන් පසු මහනුවර, කුණ්ඩසාලේ ප‍්‍රදේශයෙන්ද අද තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. 

ඔහුද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකවරයෙක්. ඒ අනුව මහනුවර, කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසුවේ.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුටයි. ඔහු ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් තිබෙනවා. 

එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. 

මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවා. ඇසුරු කළ තවත් පුද්ගලයින් සිටී දැයි සොයා පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර හික්කඩුව නලාගස්දෙණිය ප‍්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළදසැලක සේවිකාවන් 12 දෙනෙකු  අද ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන තිබෙනවා. 

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ උපදේශකවරයා සහ බිරිද මෙම වෙළදසැලට පැමිණ ඇති බවයි. 

ගුරුවරියක් ද වන ඇය සමග මෙම උපදේශකවරයා පැමිණ ඇති බව තහවුරුවීමත් සමග අදාළ වෙළදසැල වසා දැමුණු බව සීනිගම මහජන සෞඛ්‍ය පරික්ෂක විරාජ් මෙන්ඩිස් සදහන් කළේ. 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් පළමු වරට සමාජයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා වූයේ මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ උපදේශිකාවයි. 

ඒ අනුව පුත්තලම දිස්ති‍්‍රක්කයේ පමණක් ඇයගේ ආශි‍්‍රතයින් 50 කට වැඩි පිරිසක් පී සී ආර් පරීක්‍ෂණවලට යොමු කෙරුණා. පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ නිරෝධායන කි‍්‍රයාවලිය ද තවදුරටත් සිදුවන බවයි.

මුන්දලම දිසා රෝහලේදී මියගිය 22 හැවිරිදි තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී නැතත් ඔහුගේ ආශි‍්‍රතයින් පනස් දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කළ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

කොරෝනා ආසාදිතයෙකු හමු වූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් 5 ක පුද්ගලයින් 66 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන තිබෙනවා. 

ඔවුන් සියළු දෙනා පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමුකර ඇති බවයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න ප‍්‍රකාශ කර ඇත්තේ.

කොරෝනා ආසාදිතයින් ඇසුරු කිරීම හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව සබගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර  පවසා තිබෙනවා. 

ඔවුන් රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙණිය සහ ඇහැලියගොඩ තොරණගොඩ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සමීපව ඇසුරු කළ රාජාංගණය ප‍්‍රදේශයේ 79 දෙනෙකු ද පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කෙරුණා. 

ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් උපදේශකවරයෙකු වාර්තා වූයේ ගාල්ල, හබරාදුව ප‍්‍රදේශයෙන්. මේ වනවිටත් එම ප‍්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරමින් සිටින බවයි හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩිල්ෂාන් හතරසිංහගෙන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here