Thursday, March 28, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයේ පළමු දිනය සාමකාමීව පැවැත්වේ




2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය වූ අද තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම නිදහස් හා සාධාරණ අයුරින් සිදු වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. 

අද දිනයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩලවලටයි. උදෑසන 09 සිට පස්වරු 04 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී තිබුණා. 

එම කාල සීමාව තුළ කිසිදු ගැටළුකාරී සිදුවීමක් වාර්තා නොවූ බවයි පැෆරල් සංවිධානය පවසන්නේ. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

මේ අතර, අද දිනයේ අනුරාධපුර රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම අත්හිටුවා තිබුණා. ඒ, රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. 

එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාලයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් නොකළහොත් මහමැතිවරණය පැවැත්වීමේදී අසීරුතා රැසකට මුහුණ දීමට සිදු විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙහිදී කියා සිටියා.