Thursday, April 18, 2024

General line - 0115112241

චීනය නිසා අමෙරිකාව හොංකොං අතහරියි




හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.

ඒ අනුව හොංකොං සමග පවතින සමීප සබදතා අතහැරීම සම්බන්ධයෙන් වන විධායක නියෝගයට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ, අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය සහිතවයි. ඒ අනුව මින්මතු අමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ විශේෂ ආර්ථිකමය සැලකිල්ලක් නොමැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කළා.

එසේම මින්මතුවට හොංකොං රාජ්‍යයටද චීනයට සේම සම සැලකිලි දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අගවා සිටියේ.

මීට අමතරව හොංකොං වැසියන්ගේ අයිතීන් අහුරා දැමු චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති. 

කෙසේවෙතත් අමෙරිකාවේ නව තීරණය හොංකොංහි ක‍්‍රියාත්මක අමෙරිකානු සමාගම් 1,300 කට පමණ බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි. එසේම ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මෙම හොංකොං විරෝධි තීරණය හේතුවෙන් මෙතෙක් නිදහස් වීසා ක‍්‍රමය යටතේ හොංකොංහි සංචාරය කිරීමට වරප‍්‍රසාද ලැබ සිටි අමෙරිකානුවන්ට ද චීනයෙන් පනවන සංචාරක නීතිවලට යටත් වීමට සිදුවනු ඇති.

හොංකොං රාජ්‍යය සම්බන්ධයෙන් චීනය ඉකුත් දා අනුමත කල නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා.