Friday, April 19, 2024

General line - 0115112241

මහනුවර ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට ගිය මහින්දානන්ද උසාවි නොඑයි 




හිටපු රාජ්‍ය  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවක් සැප්තැම්බර් මස 03 වෙනිදා කැදවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.  

2014 වර්ෂයේ ක්‍රීඩා අමාතයවරයා ලෙස කටයුතු කිරීමේදී ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් පන් කෝටි තිස් එක් ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිෂන් සභාව අලුත්ගමගේට සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.  

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වී ඇති බවත් එම ප්‍රදේශ වල කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.

දෙවන විත්තිකරු වන සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ද විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුද මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගි වී ඇති බැවින් අධිකරණයෙන් පිටත රැදී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම නඩුව සැප්තැම්බර් මස 3 දින කැදවීමට විනිසුරු  ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත   ස්තීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා