Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා සුවය ලැබූ පිරිස දෙදහස ඉක්මවා යයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන අද දෙදහසේ සීමාව ඉක්මවා ගියා.  

ඒ, එම වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,001 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,665 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 653 දෙනෙකු පමණයි. 

ශී‍්‍ර ලංකාව ලෝකයේ අඩුම කොරෝනා මරණ අනුපාතිකයන් වාර්තා වන රටවල් 03 අතරට අයත්ව තිබෙන බවත් එමගින් මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙලේ සාර්ථකත්වය පෙන්නුම් කෙරෙන බවත් පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දුන්නා.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කොරෝනා රෝගීන්ගේ පොකුර සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කන්දකාඩු පොකුුරට අදාළව වෙනත් ප‍්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු පමණක් බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූවා.