Tuesday, August 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

පොලිස් හැඳුනුම්පතක් පාතාල සාමාජිකයෙක් ළඟ

6290Views


 



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. එසේම 2018 වසරේදී පාතාල සිද්ධියක් සම්බන්ධයෙන් අලූත්කඬේ පල්ලිය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු මොහොමඞ් හුසෙයින් මොහොමඞ් රිස්කාන් නමැත්තා සමග ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.

43 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 800 ක් සන්තකව සිටි තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කොටහේන මැල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක්. 

2019 වසරේ පෙබරවාරි 14 වැනිදා ආශා පාරික් කමල්දීන් නමැත්තියකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනා එල්ල වී ඇති මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති පුද්ගලයෙකු බව ද පොලීසිය පැවසුවා.

30 හැවිරිදි එම පුද්ගලයා කොළඹ 12, මෛතී‍්‍රබෝධිරාජ මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සිලිපේලිගේ බුද්ධික ප‍්‍රසාද් නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා සන්තකයේ තිබී පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් හැඳුනුම්පතක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ‘‘ආමි සුරංග’’ නමැත්තා අදාළ හැඳුනුම්පත භාවිත කරමින් අපරාධ සිදුකළේ ද යන්න සොයාබැලීම සඳහා කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here