Saturday, April 20, 2024

General line - 0115112241

ලොව පුරා රටවල් රැසක් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.5 ක් අල්ලස් වශයෙන් ගෙවයි




ලොව පුරා රටවල් රැසක් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.5 ක මුදලක් අල්ලස් වශයෙන් විවිධ පාර්ශ්වයන් වෙත ගෙවනු ලබන බවට ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

මේ හේතුවෙන් අමෙරිකානු රජය විසින් සිය රට වැසියන් හා ව්‍යාපාර විසින් විදෙස් රටවල් වෙත අල්ලස් ගෙවීම වළක්වාලමින් නීති සම්පාදනයට කටයුතු කර ඇති බවයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ. 

වසර හතළිහකට පමණ පෙර අමෙරිකාව විසින් විවිධ රටවල කි‍්‍රයාක්මක ඇතැම් සමාගම් සමග කටයුතු කිරීමේදී ඒවාට අල්ලස් දීම තහනම් කරමින් නීතියක් පැනවීමට කටයුතු කළා. ඒ අනුව දීර්ඝ කාලයක් පුරා අල්ලස්වලට විරුද්ධව එවැනි තහනමක් ඇති එකම රට ද අමෙරිකාව බවයි පැවසෙන්නේ.  

පසුව ලොව තවත් රටවල් කිහිපයක් ද මෙම කි‍්‍රයාවලිය අනුගමනය කිරීමට පෙළඹුනු බව විදෙස් වාර්තාවන්හි සඳහන්. ඒ අනුව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය 1997 දී සිය අල්ලස් විරෝධී සම්මුතිය සම්මත කරගත් අතර 2003 වසරේදී එක්සත් ජාතීන් විසින් තමන්ගේම සම්මුතියක් අනුමත කර තිබෙන බව ද සඳහන්.

කෙසේවෙතත් අමෙරිකාවේ ප‍්‍රධාන සමාගම්වල ප‍්‍රධානීන් පවසන්නේ අල්ලස් ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීම තුළින් ඔවුන්ගේ විදේශීය ව්‍යාපාරයන්ට වාසිදායක තත්ත්වයක් උදාවූවා මිස ව්‍යාපාර කටයුතු සඳහා බාධාවක් එල්ල නොවූ බවයි.