Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා මඩින නව එන්නතක් ගැන රුසියාව අලූත් බලාපොරොත්තුවක




නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී නව එන්නතක් හදුන්වාදී, දැවැන්ත එන්නත්කරණ ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කිරීමට රුසියාව සූදානම් වනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ අත්හදා බැලීම සඳහා එම එන්නත වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට පළමුව ලබාදෙන බවයි.

රුසියාවේ සායනික පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ගාමලේයා ආයතනය විසින් පසුගිය ජූලි මාසයේදී අදාළ එන්නතේ මූලික අදියරයේ සායනික අත්හදා බැලීම් සිදු කර තිබෙනවා. එම අත්හදාබැලීම් සාර්ථකව සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලෙස අදාළ එන්නත ලියාපදිංචි කිරීම සඳහා මේ මාසය තුළදී පියවර ගනු ඇතැයි අපේ්ක්ෂා කෙරෙනවා. 

කෙසේ වෙතත්, රුසියාවේ මෙම වේගවත් පියවර සම්බන්ධයෙන් ඇතැම් සෞඛ්‍ය විශේෂඥයින් වැඩි අවධානයකින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේ, බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාව සිය එන්නත කිසිවෙකුටත් ලබා දීමට පෙර, සත්‍ය වශයෙන්ම එහි ඵලදායී බව පරීක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ වසර අවසානයට පෙර, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ආරක්ෂිත සහ ඵලදායී එන්නතක් අමෙරිකාවට අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නමුත්, අමෙරිකාවේ සිදු කරන අත්හදාබැලීම්වලට වඩා ඵලදායී ප‍්‍රථිපල ගෙන දෙන එන්නතක් වෙනත් රටකින් නිපදවනු ඇතැයි විශ්වාස නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොරෝනා වෛරසයට පිළියමක් ලෙස නව එන්නතක් නිපදවීම සඳහා මේ වනවිට ලොව පුරා සායනික අත්හදාබැලීම් 20 ක් පමණ සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.