Saturday, April 20, 2024

General line - 0115112241

නිරෝධායන නීති ඉවත් කරන ලෙස ඉල්ලා ජර්මනියේ විරෝධතා




ජර්මනියේ බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි ඉවත් කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවන් විසි දහසක් පමණ අද එරට අගනුවර වන බර්ලින් නගරයට රැස්ව විරෝධතාවයේ නිරත වුණා. 

විරෝධතාකරුවන් පවසන්නේ, මුඛ ආවරණය අනිවාර්ය කිරීම වැනි කි‍්‍රයාමාර්ග හේතුවෙන් සිය නිදහස සීමා වී ඇති බවයි. විරෝධතාකරුවන් විසින් අද දිනය ”සීමා කිරීම්වලින් නිදහස් ” දිනයක් ලෙස නම් කර තිබූ අතර මුහුණු ආවරණ පැළඳීමෙන් ද වැළකී සිටියා. 

කෙසේ වෙතත්, විරෝධතාකරුවන් නිරෝධායන රෙගුලාසි අනුගමනය නොකිරීම හේතුවෙන් ඔවුන්ව විසුරුවා හැරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
යුරෝපයේ ඇතැම් රටවලට සාපේක්ෂව ජර්මනියෙන් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන පහළ මට්ටමක පැවතිය ද, එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන මේ වනවිට ඉහළ යමින් පවතිනවා. 

ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා ආසාදිතයින් 900 දෙනෙකු හඳුනා ගැනුණු අතර මරණ 07 ක් ද වාර්තා වුණා. මේ වනවිට ජර්මනියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 11,077 ක්. එරටින් සමස්ත කොරෝනා මරණ 9,226 ක් ද වාර්තා වනවා.