Saturday, April 20, 2024

General line - 0115112241

ලන්කා ප්‍රිමියර් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් එක් වෙයිද ? විශේෂ සාකච්ඡාවක් අද




ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරින් සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වෙනවා. 

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප‍්‍රධානත්වයෙන්. ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පවත්වන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. 

මෙම තරගාවලියට එක්විම සදහා 70කට අධික විදෙස් ක‍්‍රිඩකයින් පිරිසක් කැමැත්තද පළ කර තිබෙනවා. විදෙස් ක‍්‍රිඩකයින් මෙම තරගාවලියට එක් කර ගන්නේ නම් ඔවුන්ද දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කළ යුතු බවටයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ. 

ඒ අනුව පුහුණුවීමකින් තොරව ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නම් විදෙස් ක‍්‍රිඩකයින් අවම තරමින් ලබන 13 වැනිදා දිවයිනට පැමිණිය යුතු බවද සෞඛ්‍ය අංශවල නිර්දේශය බව සදහන්. 

කෙසේවෙතත් කටුනායක ගුවන් තොටුපොළේ දෛනික ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුනොකරන බැවින් එම නිරෝධයන ක‍්‍රියාවලියට බාධා එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ විදෙස් ක‍්‍රීඩකයින් නිරෝධයනය සදහා යොමු නොකර ගුවන් තොටුපොලේදීම පී සී ආර් පරීක්ෂණ සිදුකර එම වාර්තාවන්ට අනුව විදෙස් ක‍්‍රිඩකයින් මෙම තරගාවලිය සදහා එක් ගැනීමටයි. 

මෙවර ලන්කා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක් කණ්ඩායමකට දේශීය ක‍්‍රිඩකයින් 8 දෙනෙකු සහ විදේශීය ක‍්‍රීඩකයින් 06 දෙනෙකු මෙන්ම අවුරුදු 19න් පහළ ක‍්‍රීඩකයෙකු ඇතුළත්. මෙම තරගාවලියට එක්වන ක‍්‍රීඩකයෙකුට අමෙරිකානු ඩොලර් දස දහසත්, හැටදහසත් අතර මුදලක් ගෙවීමටයි තරග සංවිධායකයින් සැලසුම් කර ඇත්තේ. 

එක් කණ්ඩායමක සුවිශේෂී ප‍්‍රධාන ක‍්‍රිඩකයකු වන අතර ඔහු ශ‍්‍රී ලංකාව නියෝජනය කළ අයෙකු විය යුතුයි. එම කි‍්‍රඩකයාට අමෙරිකානු ඩොලර් හැටදහසක ගෙවීමටයි සැලසුම් කර ඇත්තේ. 

ලන්කා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එය අවසන් වන්නේ අගෝස්තු 28 වැනිදායි. පල්ලේකැලේ, රංගිරි දඹූලූ‍, ආර් ප්‍රෙමදාස, සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක‍්‍රීඩාංගණවලදී ලන්කන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.