Tuesday, April 23, 2024

General line - 0115112241

සම්පායෝ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ




මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පහසුකම් සැපයූ බවට චෝදනා ලැබ වැඩතහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායේ සහ චෝදනා ලද අනෙකුත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ලබන 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, සැකකරුවන් මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන් අද මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සචින්ද්‍ර ප‍්‍රනාන්දු සිය සේවාදායකයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. 

එහිදී ඔහු පැවසුවේ සිය සේවාදායකයාගේ බිරිඳ අංශභාග රෝගයෙන් පෙළෙන තැනැත්තියක බවයි. 

එබැවින් මෙම සිදුවීම හමුවේ ඇය විශාල මානසික ආතතියකට පත්ව ඇති බව අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සචින්ද්‍ර ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළා. එසේම සිය සේවාදායකයාගේ දියණිය කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ද වන බවයි ඔහු සඳහන් කළේ. 

සැකකරුවන් වෙත එල්ල වී ඇති චෝදනා සඳහා ඇප ලබාදිය හැකි බැවින් ඔවුන් සුදුසු ඇපයක් මත නිදහස් කරන ලෙස අනුරුද්ධ සම්පායේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ වෙනුවෙන් අධිකරණය පනවන  ඕනෑම කොන්දේසියකට යටත්වීමට එකඟවන බවයි අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සචින්ද්‍ර ප‍්‍රනාන්දු කියා සිටියේ. මෙහිදී සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පීඩාවිඳින බැවින් එම තත්ත්වයන් ද සලකා බලන ලෙසයි.

මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් ද අද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මෙම සැකකරුවන් කිසිවෙකුත් තමන් අත්ඩංගුවට ගැනීම සඳහා නිකුත් වී තිබුණු වරෙන්තු සම්බන්ධයෙන් එකඳු වචනයක් හෝ කථා නොකළ බවයි. 

මෙම නඩුවේ පළමුවන සැකකරු වන අනුරුද්ධ සම්පායෝ, වරෙන්තු නිකුත් කර දින 11කට පසු කුරුණෑගල බාලිකා පාසලක් ඉදිරියේ අත්අඩංගුවට පත්වුනා. ඔහුව අත්අඩංගුවට ගැනීමට කුරුණෑගලට ගොස් තිබුණේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩි‍්‍රක් වුඞ්ලර් නම් නිලධාරියායි. 

ඔහු මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා. ඔහු පවසන්නේ තමන්ට ලද සාර්ථක බුද්ධි තොරතුරක් අනුව අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බවයි. එසේම අනුරුද්ධ සම්පායෝ ඔහුගේ පාසලේ ආදි සිසුවෙක් වන බැවින් සිදුවී ඇති වරද කියාදී ඔහු අත්ඩංගුවට ගත් බව ද එම සටහනෙන්  මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇති බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේ.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනුරුද්ධ සම්පායෝ හට මීගමුව පොලිස් ස්ථානය රජ දහනක් ලෙස සකස් කරදී තිබීම ගැටලූ‍ සහගත බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර්වරයා මෙහිදී සඳහන් කළා.

එහිදී මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය විමසුවේ සැකකරු මීගමුව පොලිසියට, කුරුණෑගලට පැමිණෙන ලෙස දන්වා භාරවී ඇත් ද යන්නයි?  

ඒ සඳහා පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ කිලෝ මීටර් 72 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු තෝරාගැනීම ද ගැටලූවක් බවයි. 

වරෙන්තු නිකුත් වූ පුද්ගලයෙක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අධිකරණයට අපහාසයක් නොවේද? යන්න ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා. ‘‘සැකකාර අනුරුද්ධ සම්පායෝ මෙන්ම මීගමුව පොලිස් පරීක්ෂකවරයාද සිදුකර ඇත්තේ අධිකරණයට අපහාසයක්. ඔහු සැකකරුව අත්ඩංගුවට ගැනීම සඳහා මීගමුවෙන් පිටත්වන්නේ උදේ 9ට පමණ. 

එහිදී ඔහු සිදුකළේ කුමක්ද යන්න ක්‍ක්‍ඔඪ කැමරා පද්ධතිවලින් පරීක්ෂා කර වාර්තා කරන ලෙස  මෙම නඩුවේ පළමු පැමිණිලිකාර පාර්ශවය වන වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධීකරණයෙන් ඉල්ලීමක් කළා. 

එමෙන්ම මේ සියලූ‍ තත්ත්වයන් පිළිබඳ නීතිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.  සැකකාර අනුරුද්ධ සම්පායෝ ඊයේ අධිකරණ භූමිය තුළ හැසිරුනේ සියල්ලට ඉහලින් සිටින කෙනෙක් ලෙසයි. 

සියලූ‍ දෙනාටම නීතිය සමාන විය යුතු වනවා.  සැකකරුගේ පවුල්වල අය සම්බන්ධයෙන් කණගාටුවුනත්  ඔහුගේ හැසිරීම් හේතුවෙන් ඒ පිළීබඳ  මානුෂීයව සලකා බැලිය නොහැකියි.

එබැවින්  විමර්ශන අවස්ථාවකදී සැකකරුවන්ගේ හැසිරීම් සහ වීර කථනයන් හේතුවෙන් කිසිඳු සැකකරුවෙකුට ඇපලබාදීම සඳහා පැමිණිලිකාර පාර්ශවය විරෝධය පළකරන බවයි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ.