Friday, April 26, 2024

General line - 0115112241

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට - 4000කට තුවාල : පිපිරීමට හේතුව ට්‍රම්ප් කියයි




ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 4,000 ක් පමණ වන බවත් සුන්බුන් ඉවත් කිරිම මේ දක්වා අවසන් නොවී ඇති බැවින් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි එරට බලධාරින් සඳහන් කර සිටින්නේ.

දැනට සිදුකර ඇති මුලික විමර්ෂණ වලදි හෙළිව ඇත්තේ වසර 06ක් පුරා රාජසන්තක කොට ගබඩා කර තිබු ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,700ක් අසුරා තිබු ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි.

මෙම පිපිරිමෙන් පසු හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් එරට ජනාධිපති Michel Aoun සඳහන් කර සිටියේ සති දෙකක කාලයක් සඳහා රටේ හදිසි නීතිය බලපැවැත්වෙන බවයි.

මේ අතර එරට ජේෂ්ඨ ආරක්ෂක මණ්ඩලය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට සඳහන් කර සිටියේ පිපිරිමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබෙන බේරූට් නගරය ආපදා නගරයක් ලෙස නම් කරන ලෙසයි.

එමෙන්ම අගනුවර ආරක්ෂාව සඳහා හමුදාව යොදවන ලෙසද එම කවුන්සිලය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

මේ අතර පිපිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ලෙබනනයේ පිපිරිම "දරුණු ප්‍රහාරයක්" විය හැකි බවයි.

" අපි ලෙබනනයේ ජනතාව සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. ඔවුන්ට උපකාර කිරිමට ඉදිරිපත් වන්නෙමු. අපගේ ජේෂ්ඨ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු මුණ ගැසුණා.

මෙම ප්‍රහාරය කිසියම් ආකාරයක සාමාන්‍ය ප්‍රහාරයක් බවට නොහැගෙන බවත් එය යම් ප්‍රහාරයක ස්වරූපයක් හැඟවෙන බවට එම හමුදා නිලධාරීන්ගේ අදහස වූ බවයි" ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ.