Saturday, April 20, 2024

General line - 0115112241

විපක්ෂයේ ජාතික ලැයිස්තු ප‍්‍රමාද වෙයි




විපක්ෂයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත‍්‍රී නාම ලේඛන ඉදිරිපත් කිරීම තවදුරටත් ප‍්‍රමාද වී තිබෙනවා. 

මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇත්තේ, අදාළ ලේඛන ලබන 14 වනදාට ප‍්‍රථම ලබා දෙන ලෙසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේදී සිය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී නාමලේඛනය මැතිවරණ කොමිසම වෙත භාර දුන්නා. 

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර 07 ක් හිමි වූ අතර ඔවුන්ගේ ජාතික ලැයිස්තු නාම ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට පත් කරන්නේ කවුරුන්ද යන්න ඉදිරි දින තුන ඇතුළත තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග‍්‍රසහ සහ අපේ ජන බල පක්ෂයට ද එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය බැගින් හිමි වුණා. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට පත් කරන්නේ කවුරුන්ද යන්න එහි නායකත්ව මණ්ඩලය රැස්වී හෙට හෝ අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.  

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි එම පක්ෂ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 
මේ හේතුවෙන්, පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුව ගැසට් කිරීම ද ප‍්‍රමාද වී තිබෙනවා. නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම, ජාතික ලැයිස්තුව ගැසට් කිරීමෙන් පසු සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරචි මාර්ග අනාවරණ කළේ.

එම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අසුන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දෙනු ඇති බවට මීට පෙර වාර්තා පළ වුණා. කෙසේ වෙතත්, ඥාණසාර හිමියන්ගේ නම ජාතික ලැයිස්තු අපේක්ෂක ලේඛනයේ ඇතුළත්ව නොමැති බැවින්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ. 

අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තර`ග කිරීම සඳහා කුරුණෑගල දිස්ති‍්‍රක්කයට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම ඇතුළත්ව තිබුණා. කෙසේ වෙතත්, එම නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම පක්ෂයට කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා තරඟ වැදීමට අවස්ථාව හිමි වූයේ නැහැ.