Saturday, April 20, 2024

General line - 0115112241

ලෙබනන් පිපිරීමෙන් පසු ජනතාව එරට රජය එපා කියයි




ලෙබනනයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීම රජයේ නොසැලකිලිමත් බව නිසා සිදු වූ බවට චෝදනා කරමින් එරට කි‍්‍රයාත්මක විරෝධතා අතරතුරදී තුවාල ලැබූවන් ගණන 728 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කිරීම සඳහා එරට පොලිසිය ගත් කි‍්‍රයාමාර්ග අතරතුරදී හටගත් ගැටුම්වලින් මෙලෙස බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර, එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලෙබනන් පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශවලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් 19 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තර කිරීම සඳහා ආරක්ෂක අංශ යෙදවීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ. 

පසුගිය සතියේ පුද්ගලයින් 158 දෙනෙකුට මරු කැඳවමින් සහ පුද්ගලයින් හයදහසකට තුවාල සිදු කරමින් බේරූට්හි සිදුවූ දැවැන්ත පිපිරීම ලෙබනන් රජයේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදු වූවක් බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. නොසැලකිලිමත් ලෙස සහ වගකීම් විරහිත ලෙස කටයුතු කළ සියලූදෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ. එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් රජයට ඉල්ලා අස් වන ලෙස බල කරන වැකි සඳහන් පුවරු ප‍්‍රදර්ශනය කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

පවතින දේශපාලන අර්බුදය විසඳිය හැකි එකම ක‍්‍රමය, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව ලෙබනන් අග‍්‍රාමාත්‍ය හසන් ඩියාබ් පවසා තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කළේ, තවදුරටත් උත්සන්න වන දේශපාලන සහ ආර්ථික අර්බුදය මග හරවා ගැනීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවට රජයට යෝජනා කරන බවයි.