Thursday, April 25, 2024

General line - 0115112241

‍රජයේ පාසල් අද යළි ඇරඹුනේ මෙහෙමයි





කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු, මීටරයක ශිෂ්‍ය පරතරය සහිතව පන්ති පවත්වාගෙන යා හැකි පාසල්වල සියලූම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතයි. 

පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි  ප‍්‍රාථමික සහ ද්විතියක පාසල්වල 01 සහ 05 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා දිනයේත්, 02 සහ 05 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අඟහරුවාදා දිනයේත් සාමාන්‍ය පාසල් කාලය තුළ කි‍්‍රයාත්මක කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත්තේ. 

බදාදා දිනයේ 03 සහ 05 ශ්‍රේණි සඳහාත්, බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනවල 04 සහ 05 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පාසල් කාලය තුළ කි‍්‍රයාත්මක වනු ඇති. 

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි  ද්විතියක පාසල්වල 06, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා දිනවල සිදු කෙරෙනවා. අඟහරුවාදා දිනවල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ 07, 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහායි. ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි  ද්විතියක පාසල්වල බදාදා දිනයන්හි පන්ති පැවැත්වෙන්නේ 08, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණි සඳහායි. 

බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 09, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

දෙවන වාරයේ පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදා සිට නොවැම්බර් මස 16 වනදා දක්වා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර කරුණු දැක්වූවා.