Friday, March 29, 2024

General line - 0115112241

නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු හමුවේ




මෙරටින් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට 2,844 වී තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් අතරින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින්.

අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,579 ක් වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව තවදුරටත් මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 254 ක් බවයි. 

මේ අතර, මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කළ තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරට මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගිය පුද්ගලයින් ගණන 29,729 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන 36 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 3,025 ක්.