Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්




අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රිවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව සියළු මන්ත්‍රිවරුන්ට සිය තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් අයදුම් පත්‍රය සම්පූර්ණ කළ හැකි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක දන්වා සිටියි. එම අයදුම්පත පිරවීමේ කටයුතු එළඹෙන 15 වැනිදාට පෙර සිදු කළ යුතු බවයි ඔහු තවදුරටත් නිවේදනය කර සිටි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මක පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ. එමෙන්ම මන්ත්‍රිවරුන්ගේ පහසුව සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන් බවත් ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදු කළ හැකි බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේ.

ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට https://registration.parliament.lk වෙබ් පිටුව වෙත පිවිස මුරපදය භාවිත කරමින් මෙම අයදුම් පත්‍රය ලබා ගත හැකිවේ. මෙම මුරපදය පිළිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන බැවින් හැකි ඉක්මනින් තොරතුරු ලබාදීම සිදු කළ යුතු බවද මහ ලේකම් කාර්යාලය පවසයි.