Saturday, April 20, 2024

General line - 0115112241

මහජන විරෝධතා හමුවේ ලෙබනන් ආණ්ඩුව දෙදරයි




ලෙබනන් ආණ්ඩුව බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ලෙබනනයේ බේරූට්හි පිපිරීම රජයේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ බවට චෝදනා කරමින් එරට රජයට එරෙහිව කි‍්‍රයාත්මක අඛණ්ඩ සහ දැවැන්ත විරෝධතා හේතුවෙන්. විරෝධතා හමුවේ දැනටමත් අමාත්‍යවරුන් තිදෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෙබනන් අධිකරණ අමාත්‍යවරිය, තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරිය සහ පරිසර අමාත්‍යවරයා මෙලෙස සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. 

එරට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු ද ඉල්ලා අස් වීමට පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්, විරෝධතාකරුවන් දහස් ගණනක් බාබ්ඩා මාළිගය ඉදිරිපිට රැළියක් සංවිධාන කර ඇති බව ද එම වාර්තාවල දැක්වෙනවා.

මේ අතර, බේරූට්හි සිදු වූ පිපිරීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 200 ඉක්මවූ බව ලෙබනන් මාධ්‍ය අද වාර්තා කළා. තවත් පුද්ගලයින් 6,000 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර පුද්ගලයින් ලක්ෂ 03 කට නිවාස අහිමි වී තිබෙනවා. පීඩාවට පත් ලෙබනන ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ආධාර ලබා දීමට ද ලොව රටවල් රැසක නායකයින් අතර ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකදී එකඟතාවය පළ වුණා.