Friday, March 29, 2024

General line - 0115112241

පිපිරීම ගැන ලෙබනන් ජනපති හා අගමැති ආරක්ෂක අංශ මගින් දැන ඉදලා - වගකීම භාර ගනිමින් රජය වහාම ඉල්ලා අස් වේ




බේරූට් වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය ආරක්ෂාවට තර්ජනයක් බවට ආරක්ෂක අංශ මගින් ලෙබනනයේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා හට ඉකුත් මාසයේදී අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවට රහස්‍ය වාර්තා මගින් මේවනවිට අනාවරණ වී තිබෙනවා. 

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය පුපුරා ගියහොත්, බේරූට් නුවර විනාශ විය හැකි බවට ද ආරක්ෂක අංශ මගින් කල්තියාම පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවයි. ඉකුත් ජූලි මස 20 වනදා ද මේ සම්බන්ධයෙන් වන අනතුරු ඇගවීමේ ලිපියක් ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයා හට යොමුකර තිබුණත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවටයි මේවනවිටත් අනාවරණ වී ඇත්තේ. 

එසේම බේරූට් වරාය තුළ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය පැහැර ගැනීමකට ලක්වුව හොත්, එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සඳහා භාවිත කළ හැකි බවට ද ලෙබනනයේ ඉහළ පෙළේ ආරක්ෂක ප‍්‍රධාන්නි විසින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. 

කෙසේවෙතත් බේරූට් වරායේ ගබඩා කර තිබූ ටොන් 2700 ක් වූ ඇමෝනියම් නයිටේ‍්‍රට් තොගය ඉකුත් 04 වනදා පුපුරා ගිය අතර ඉන් දිවි අහිමිවූ පුද්ගලයින් සංඛ්‍යාව 200 කට අධිකයි. 

මේ අනුව ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, රට තුළ කි‍්‍රයාත්මක මහජන විරෝධතා මාලාව හමුවේයි. තමන් ප‍්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ලෙබනනයේ අග‍්‍රාමාත්‍ය හසන් ඩයබ් විසින්.

රාජ්‍ය රූපවාහානිය හරහා ජනතාව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා රජයේ ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළා. කෙසේවෙතත් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්නා තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙසයි ලෙබනනයේ ජනාධිපති මයිකල්  ඕන්, අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ. එහෙත් රටතුළ පවතින මහජන විරෝධතා රැල්ල උත්සන්න වීම හේතුවෙන් අග‍්‍රාමතවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවුණා.