Friday, March 29, 2024

General line - 0115112241

දින 101 කට පසුව නවසීලන්තය යලි "ලොක්ඩවුන්" : අභිරහස් අයුරින් වෛරසය ආසාදනය වූ රෝගීන් 04 දෙනෙක් සමාජයෙන් වාර්තා වෙයි




දින 101 කට ආසන්න කාලයක් කිසිදු සමාජ සම්ප්‍රේෂණ ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසුමට ලක්වූ නවසීලන්තය තුළ යළි කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් බියක් ජනිත වී තිබෙනවා.

ඒ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේදී තහවුරු වීමත් සමගයි.

මිලියන 1.6 ක ජනගහණයකින් යුත් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රාන්තය සඳහා අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 72ක කාලයක් ගතවන තෙක් එහි නිවැසියන්ට නිවෙස් වලින් පිටතට යාම තහනම් කිරිමට පියවර ගත් බවයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ඒඩ්‍රන් මාධ්‍ය හමුවක් පැවැත්වමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම නවසීලන්තයේ අනෙක් ප්‍රාන්ත සියල්ලෙහිම සමාජ දුරස්ථභාවය ඇතුළු දෙවන අදියරේ හුදෙකලා කිරිමේ නියෝගයන්ට යටත් කිරිමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත්තේ.

වෛරසය ආසාදනය වූ පවුලේ සාමාජිකයින්ට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය සොයා ගැනීමට නොහැකිවීම නිසා ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

50 හැවිරිදි මෙම පුද්ගලයාට මිට දින 05 කට පෙර වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කොට තිබෙන අතර අද දිනයේදී සිදුකළ PCR පාරික්ෂණ දෙකක් මගින් ඔහුට වෛර්සය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මිට අමතරව ඔහුගේ සහකාරිය සහ ප්‍රාථමික පාසැල් වයසේ පසුවන දරුවාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි නවසීලන්ත අගමැතිවරිය තහවුරු කර සිටියේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවසීලන්ත අගමැතිවරිය ප්‍රකාශ කළේ නිර්මාණය වී ඇති නව රෝගී පොකුර හේතුවෙන් ඉදිරියේදී තවත් රෝගීන් වාර්තා වීමේ අවධානමක් පවතින බවයි.