Thursday, March 28, 2024

General line - 0115112241

තවත් අමාත්‍යාංශ 03 කට ලේකම්වරුන් පත් කෙරේ 




වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

එම පත්වීම් වලට අදාළ ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙලෙස නව පත්වීම් ලැබූ ලේකම්වරුන් තිදෙනා ගේ නම් පහත දැක්වේ.

01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ  - ලේකම්, අධිකරණ අමාත්‍යාංශය

02- යූ.ඩී.සී. ජයලාල්  - ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය

03- මහාචාර්ය කපිල ගුණවර්ධන  - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

මේ අතර නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිනයේද සිය තනතුරුවල රාජකාරී ආරම්භ කළා. ගාමිණී ලොකුගේ අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙසයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද අද රාජකාරී ආරම්භ කළා.

මහින්දානන්ද අලූත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අද රාජකාරි ආරම්භ කළා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඒ, වරාය හා නාවික අමාත්‍යාංශයේදීයි. 

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු සරත් වීරසේකර ද අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. 

මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඖෂධ නිෂ්පාදනය හා සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වූ මහාචාර්ය චන්න ජයසුමනද අද පස්වරුවේ සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. 

ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන්ද, ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ද අද සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කළා.

වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු ජීවන් තොණ්ඩමන්ද අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ පිරිසට අයත්. 

මේ අතර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,”වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග‍්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි‘’’ යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.