Saturday, April 20, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතෙක් මෛත්‍රීට තනතුරක් නෑ ?




නව ආණ්ඩුව තුළ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඇමතිකමක් හෝ කිසිදු තනතුරක් හෝ නොලැබීම සම්බන්ධයෙන් තවදුරටත් කතාබහට ලක් වනවා. ඇතැම් වාර්තාවල දැක්වුණේ නව ආණ්ඩුව තුළ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අලූත් තනතුරක් නිර්මාණය කර ලබාදෙනු ඇති බවටයි. 

කෙසේවෙතත් නව ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම පැවසුවේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී නියෝජ්‍ය අගමැති නමින් තනතුරක් අලූතින් නිර්මාණය කර හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබාදීමට කටයුතු නොකරන බවයි. ව්‍යවස්ථාවට පිටින් නව තනතුරු පිහිටුවීමේ කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති බවද ඔවුන් අවධාරණය කළා.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් හෝ තනතුරක් ලබා නොදුන්නේ මේ වනවිට සිදුකෙරෙන පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන හේතුවෙන් බව ද තොරතුරු වාර්තා වනවා. ඒ හේතුවෙන් අදාළ වාර්තාව පැමිණෙන තෙක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට කිසිදු තනතුරක වගකීමක් නොදෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටද නව නායකත්වයක් අවශ්‍ය බවයි. 

මේ අතර වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග‍්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි යනුවෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ෆෙස්බුක් පිටුවේ තැබූ සටහනක් ද මේ වනවිට දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වනවා. 

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් හිමිනොවුණු අතර ඉන් අනතුරුව මෙම සටහන ඒ මහතා විසින් තබා තිබීමද විශේෂ සිද්ධියක්.