Friday, March 29, 2024

General line - 0115112241

එජාපයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු ගැටලුව තවමත් අවසන් නෑ - පුරප්පාඩු සහිතව පාර්ලිමේන්තුව කටයුතු කිරීමට යයි




ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර නම් කිරීමට ලබාදුන් කාලය අවසන් වනවිට පක්‍ෂ දෙකක් හැර සෙසු සියළු පක්‍ෂ සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර  නම් කර එවා තිබු බව මැතිවරණ කොමිසම පවසනවා. 

මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 29 න් 27 ක් මේ වනවිටත් සම්පූර්ණ කර අවසන්. ඉන් නම් 19 ක් ම ගැසට් මගින්ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේවෙතත් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර නම් කිරීමට ලබාදුන් කාලය ඊයේ දිනයෙන් අවසන් වුවද එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය මේ වනතෙක් සිය පක්‍ෂවලට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයා නම් කර නැහැ.

මෙවර මහ මැතිවරණයෙන් දේශපාලන පක්ෂ 07කට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර හිමි වුණා. ඉන් 17 ක්ම හිමි වූයේ වැඩිම ඡන්ද ලබාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හා අහිල ඉලංගෙයි තමිල් කොංග‍්‍රසය ද තමන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයා ඉකුත්දා නම් කෙරුණා. එම නම් 19 යි මේ වනවිටත් ගැසට් කර අවසන් කර ඇත්තේ.

ජාතික ජන බලවේගය ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සහ සමගි ජන බලවේගය ඔවුන්ට හිමි මන්තී‍්‍ර ධුර 7 සදහා නියෝජිතයින්ද ඉකුත්දා නම් කළා. 

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සඳහා නම් යෝජනා කිරීමට මැතිවරණ කොමිසම ලබාදුන් කාලය අදින් අවසන් වනවිටත් එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සඳහා කිසිවකුත් නම් නොකළේ පක්‍ෂ අභ්‍යන්තරයේ මතු වු ගැටළු කිහිපයක් මෙතෙක් විසදා නොගැනීම හේතුවෙන්.

ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වන ලබන 20 වනදා තෙක් එම නම් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නොහැකි වුවහොත් ඇති වන තත්ත්වය පිළිබද නෙත් නිවුස් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා. එහි, නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල්. ජි. පුංචිහේවා පැවසුවේ අදාළ පක්ෂ දෙකට පාර්ලිමේන්තුව තුළ හිමි ආසන දෙක පුරප්පාඩු සහිතව තබා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරන බවයි. 

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් තවදුරටත් එම පක්‍ෂය තුළ උණුසුම් තත්ත්වයක් පවතිනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සූදානම් වන්නේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණයට යාමටයි. 

කෙසේවෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සාකච්ඡුා මාර්ගයෙන් ගැටළුව විසදා ගතයුතු බවයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ ලේකම්වරුන් යැයි පවසන දෙදෙනෙකු මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලිපි දෙකක් යොමුකර තිබෙනවා.

මේ අතරතුර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ‍කාරී තත්ත්වය විසඳා ගැනීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇත්තේ අපේ ජන බල පක්ෂයේ ලේකම් ලෙස වරම හිමිකරගෙන ඇති පුද්ගලයාගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සළකන පුද්ගලයාගේ නාම යෝජනාව භාරගන්නා ලෙසයි.