Thursday, April 25, 2024

General line - 0115112241

සේවය හැර ගිය බන්ධනාගාර නිලධාරියා හෙරොයින් අදිද්දී පොලිසියට මාට්ටු 




හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු රත්නපුර, ඇත්ඔය ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 4 යි මිලිග‍්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රත්නපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි. ඔහු සන්තකයේ දී බන්ධනාගාර නිල හැදුනුම්පතක් සහ ජංගම දුරකතන දෙකක්ද සොයාගෙන තිබෙනවා. 

ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර සේවය කර ඇති බන්ධනාගාර නියාමකයෙක්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ මීට මාස දෙකකට පෙර සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහු සේවය හැරගියා සේ සලකා සේවයෙන් ඉවත් කළ අයෙකු බවයි. රත්නපුර, මුද්දුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක් වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සදහා රැදවුම් නියෝග ලබා ගන්නා බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර බන්ධනාගාර ගතව සිට විවිධ ජාවාරම්වල නිරත වූ රැදවියන් තිදෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් එක් අයෙකු මරණ දඩුවමට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි අයෙක් බවයි. අනෙක් දෙදෙනා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටියා. ඉන් එක් අයෙකු කොස්ගොඩ තාරකගේ සහෝදරයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.