Saturday, April 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමතිනියගෙන් දැඩි තීරණයක් - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නොමනා ක්‍රියා පිළිබඳ සොයන්න කමිටුවක්




ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි විසින් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. 

වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් එම කමිටුවේ සාමාජිකයින් ලෙස විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප‍්‍රෂාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශේෂඥ වෛද්‍ය මෛතී‍්‍ර චන්ද්‍රරත්න හා විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් වී ඇති අතර එම පැමිණිලි අතරින් කරුණු 05 ක් කෙරෙහි අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අවධානය යොමුව තිබෙනවා. 

එම පැමිණිලි වන්නේ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධි මාලාව, පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සඳහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල් දැමීම, අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නොමැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුළ ලියාපදිංචියට කටයුතු කිරීම, විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරීමට පවත්වනු ලබන විභාගය කල් දැමීම හා වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීතිවලට පරිභාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විභාග කිරීමයි. 

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුළින් කරුණු විමසා ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා. 

එම කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදීමටයි එම පංච පුද්ගල විශේෂඥ කමිටුව පත් කර ඇත්තේ. ඒ අනුව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සඳහන් විශේෂඥ කමිටුව මගින් ලබාදෙන වාර්තාව අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප‍්‍රතිස්ථාපනය කර රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකසන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.