Friday, April 19, 2024

General line - 0115112241

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් : ධිවරයින්ට ප්‍රදේශයෙන් ඉවත්වන්නැයි දැනුම් දෙයි 




මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව සියලූම ධීවර යාත්‍රා අද (18) දින සිට මධ්‍යම, ඊසාන දිග හා නැගෙනහිර බොංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 6 -16 සහ නැගෙනහිර දේශාංශ 83 - 96 කලාපවලින් කඩිනමින් ඉවත් විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එම ප්‍රදේශවල ඉතා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන්නැයි ද උපදෙස් දී ඇත.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 - 70ත් අතර ඉහළ යා හැකි බැවින් ධීවරයින්ට මේ පිළිබඳ සැලකිලිමත් වන්නැයි දැනුම් දී සිටියි.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2 -2.5ත් අතර ඉහල යාමේ හැකියාවක් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මිට අමතරව සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, නුවරඑළිය, කළුතර දිස්ත්‍රික්කවලට ඇතැම් විට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ද ඇතිවිය හැක.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් අද පස්වරුවේ එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා. ගිනිගත්හේන පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක්ව එම ගස මාර්ගයෙන් ඉවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර මධ්‍යම කඳුකරයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයට පස් කඳු කඩාවැටීමේ අවධානමක් පවතින බව පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.