Saturday, April 20, 2024

General line - 0115112241

ආනවිළුන්දාව ඩෝසර් කළ දෙදෙනාට ඇප : තවත් සැකකරුවන් සිටිනම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය දැනුම් දෙයි 

ජූඩ් සමන්ත




ආනවිළුන්දාව අභය භූමිය තුල ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනාව රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) වැනිදා නියම කරනු ලැබුවා.

පසුගිය 27 වැනිදා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා. වන ජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර තිබූ පැමිණිල්කට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

දිසා විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු සහ උඩප්පුව - පිංකට්ටිය පදිංචි ව්‍යාපාරිකයෙකුය.

මෙම  සිද්ධියට සම්බන්ධයෙන් සියළු සාක්ෂි අධිකරණය හමුවේ ගොණු කරන ලෙසත් අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්වද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා ආරච්චිකට්ටුව පොලීසියට නියම කරන ලදි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වනජිවී අමාත්‍ය සී.බී.රත්නායක විසින් පංච පුද්ගල කමිටුවක් පත්කරන ලදි.

වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව සී.බී.රත්නායක අමාත්‍යවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අය මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ බව එම වාර්තාවේ සදහන් බවට එම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා.