Saturday, April 20, 2024

General line - 0115112241

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල හදන්න ඉඩදුන් ආයතන ගැන පරීක්‍ෂණ




මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු මහල් 5 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලබාදුන් ලේඛණ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් මහනුවර නගර සභාව, ජාතික ගොඩනැගිලි සංවිධානය සහ ඉදිකිරීම්වලට සහාය දුන් ඉංජිනේරුවරුන් නිකුත් කළ ලේඛණ පරීක්‍ෂා කිරීමටයි මහනුවර පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත්තේ. 

පොලීසිය පැවසුවේ මෙම ඉදිකිරීම් සදහා විශේෂ බලපත‍්‍ර සහ අවසර ලබාදුන් බවට පැවසෙන රාජ්‍ය ආයතනවලින් එවැනි ලේඛණ නිකුත් කර තිබුණා දැයි පරීක්‍ෂා කරන බවයි.

ගොඩනැගිල්ලේ හිමිකරු වූ අනුර ලෙව්කේ නමැත්තා පොලීසියට පවසා ඇත්තේ සියළු ආයතනවලින් අවසර ලබාගෙන මෙම ඉදිකිරීම් සිදුකළ බවයි.

පස් මහල් මෙම ගොඩනැගිල්ල අසල පිහිටි හෝටලයකට කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් එහි රැදී සිටි මාස එකහමාරක බිළිදියක මෙන්ම ඇයගේ මව සහ පියාද ජීවිතක්‍ෂයට පත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට භූ විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ති‍්‍රක් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නායයාමක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ති‍්‍රක් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය නෙත් නිවුස් වෙත කියාසිටියේ ඉදිකිරීමේ පැවති දෝෂයක් අනතුරට හේතුව බවට විශ්වාස කරන බවයි.

අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බවයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවයි. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවද එහිදී හෙළිකර ගෙන තිබෙනවා.