Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේදී 20ට එරෙහිව නැගී සිටින හැටි සමගි ජනබලවේගය සැළසුම් කරයි




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා. අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කලේ 19 වන සංශෝධනයේ අඩංගු වූ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු කරුණක් සංශෝධනය කර නොමැති බවයි. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් සමගි ජන බලවේගයෙන් ද විමසීමක් කළා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක කියා සිටියේ "සමගි ජනබලවේගය තීරණය කළා 20 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. 19 වැනි සංශෝධනයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික මුහුණුවර සම්පූර්ණයෙන්ම විස්සෙන් ඉවත් කරලා තියෙනවා. 19යේ අඩුපාඩු සකස් කරමින් ඉදිරියට යන්න කියන කාරණයයි අපි අවධාරණය කරන්නේ." යනුවෙනි.

පාර්ලිමේන්තුවේ සංයුතිය සැලකීමේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ආසන 145 ක් හිමි වනවා. 

කෙසේ වෙතත් ඩග්ලස් දේවානන්දාගේ ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරු දෙදෙනා මෙන්ම ඒ. එල්. එම්. අතාවුල්ලාගේ ජාතික කොංග‍්‍රසයෙන්, ශිවනේෂතුරෙයි චන්ද‍්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ ටී. එම්. වී. පී. පක්ෂයෙන් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරයා බැගින් තිදෙනෙකු ද ආණ්ඩු පක්ෂයට සහය දෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂයට ආසන 150ක් හිමි වනු ඇති. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නම් අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 150 ක් වනවා.